Thursday 20 November 2025 at 10:35
The Pulse
ඩොලර් මිලියන ගණනක වීසා ගනුදෙනුවක්? ටිරාන් අලස්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ඔන්ලයින් වීසා නිකුත් කිරීමේදී ඩොලර් මිලියන 1.4ක බදු වංචාවක් ගැන, ජන අරගල සන්ධානය අල්ලස් කොමිසමට පැමිණිලි කරයි.
ජන අරගල සංධානය විසින් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (19) දින පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
මෙම පැමිණිල්ලට හේතුව වී ඇත්තේ, 2024 වසරේ සිට මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීමේදී සිදුව ඇති බව කියන බරපතළ වංචාවක් පිළිබඳවයි.
විදේශීය සමාගම්වලට බලය පැවරීම
2023 වසරේදී මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීමේ බලය, GBS Technology Services & IVS Globe-FZCO සහ VF Worldwide Holding Ltd යන පෞද්ගලික සමාගම් දෙකට ලබාදීම සඳහා එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පැමිණිල්ලේ සඳහන්. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ 2023 සැප්තැම්බර් 11 වැනිදායි.
මෙම සමාගම් ඉල්ලීමක් කළ නිසා මෙම කාර්යය ඔවුන්ට භාරදෙන ලෙසට මිස, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලෙසට මෙම යෝජනාවේ සඳහන් වී නොමැති බව ජන අරගල සංධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ සඳහන් කරනවා.
ටෙන්ඩර් නොමැතිවීම - මෙම කටයුත්ත මීට පෙර සිදු කළේ බහුතර රාජ්‍ය හිමිකාරීත්වයක් සහිත මොබිටෙල් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් වන අතර, රාජ්‍ය ආයතනයක් මගින් සිදු කළ කටයුත්තක් පෞද්ගලික සමාගමකට පැවරීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නැහැ.
ප්‍රසම්පාදන රෙගුලාසි කඩවීම - 2023 දෙසැම්බර් 11 වැනිදා කැබිනට් අනුමැතිය ලබා දීමේදීද, සම තරඟකාරිත්වය සහ අවම මිල තෝරා ගැනීම වැනි මූලික ප්‍රසම්පාදන රෙගුලාසි නොතකා හැර ඇති බව විගණන වාර්තා මගින් හෙළි වී තිබෙනවා.
මිල ඉහළ යාම සහ රජයට අහිමි වූ ආදායම
නව ක්‍රමය හඳුන්වා දීමෙන් පසු වීසා ගාස්තු දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත්, එම මුදල් රජයට අහිමි වී ඇති බවත් ජන අරගල සංධානය පෙන්වා දෙනවා.
ගාස්තු වැඩිවීම - 2024 අප්‍රේල් 17 දිනෙන් පසු දකුණු ආසියානු රටවල් නොවන අනෙකුත් රටවල් සඳහා මාර්ගගත ක්‍රමයට වීසා ලබා ගැනීමේ ගාස්තුව ඩොලර් 55 සිට ඩොලර් 100.77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආදායම් අහිමි වීම - වැඩි වූ ඩොලර් 45ම රජයට අහිමි වීම නිසා විදේශ විනිමය අහිමිවීමක් සිදුව ඇති අතර, මෙය සංචාරක ව්‍යාපාරයට බරපතල හානියක් සිදු කළ බවද පැමිණිල්ලේ සඳහන්.
බදු වංචාව - 2024 අප්‍රේල් 17 සිට අගෝස්තු 02 දක්වා කාලය තුළ අදාළ සමාගම් විසින් අය කළ සමාජ ආරක්ෂණ බද්දක් සහ එකතු කළ අගය මත බද්දක් (VAT) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කර නොමැති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවක හෙළිදරව් වී තිබෙනවා.
ගණනය කළ පාඩුව - මෙම බදු වංචාව හේතුවෙන් රජයට අහිමි වූ ආදායම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.41ක් (ඇ. ඩො. 1,418,360ක්) විය හැකි බවටයි විගණනයෙන් ගණනය කර ඇත්තේ.
පරමාධිපත්‍ය බලය පෞද්ගලික සමාගම්වලට
යම් රටක දේශ සීමාවෙන් ඇතුළු වීමට අවසර දීම රජයට අයත් බලයක් වන අතර, එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග සම්බන්ධයි. නමුත් මෙම ජනතා පරමාධිපත්‍ය බලය පෞද්ගලික සමාගම් සතු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම බරපතල දූෂණයක් පිළිබඳ සැකයක් ඇති කරන්නක් බව ජන අරගල සංධානය පවසනවා.
ජාතික විගණන කාර්යාලයේ වාර්තාව මගින් ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රජයට සිදුව ඇති අලාභය සහ අහිමිව ගිය ආදායම ගණනය කර වගකිවයුතු අයගෙන් එම මුදල් අය කර ගැනීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබෙනවා.
මේ අනුව, හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයාව සිටි ටිරාන් අලස් සම්බන්ධ පූර්ණ විමර්ශනයක් සිදුකර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජන අරගල සංධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.
Call to Action
මෙම ලිපිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහස් අප හා බෙදාගන්න. මෙය ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත්, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් share කර සංවාදයක් ආරම්භ කරන්න.
අදාල පැමිණිල්ල පහතින් දැක්වේ.








